SPOILER ALERT
රූහි කියන්නෙ නුදුරේදීම සොඳුරු මනාලියක් වෙන්න හීන දකින ගෘහ සේවිකාවක්. වැඩට යන්න පිටත් වෙලා බස් එකේ ජනේලයක් ගාව ආසනයක වාඩි වෙලා අත් දෙක ජනේලෙන් එලියට දාල හුලඟෙ පහස විඳිනගමන් අත් දෙකෙන් එක එක රටා මවන්නෙ හරියට පුංචි දරුවෙක් වගේ. මේ කතන්දරේ පටන් අරන් නාමාවලිය යන්නෙ විනාඩියක් පුරාවට රූහිගෙ නටන අත් දෙක එක්ක. මට හිතුන විදිහට රූහිගෙ නටන අත් දෙකෙන් පෙන්නුවෙ එයාට ඕනෙ නිදහස. වැඩ කරන්න යන ගෙදර ස්වාමි දියණිය ජීවත් වෙන්නෙ ප්‍රශ්න කන්දරාවක. දරුවගෙ වගකීම් එක්ක ඩුබායි ට්‍රිප් එකක් යන්න ලෑස්ති වෙලා ඉන්න මෝසෙද් නෝනට තමන්ගෙ දයාබර ස්වාමි පුරුශයා ගැන සැකයක් මතු වෙලා . රූහිටත් සිද්ධ වෙනව ස්වාමි දියණියගේ දවසෙන් දවස මෝදු වෙන සැකය තහවුරු කරන්න හේතු කාරණා හොයන්න.
අද ඔයා අර ගෑනිගෙ සැලෝන් එකේ අපොයින්මන්ට් එකක් දාගන්නෝනෙ. ගිහින් බලල කියන්ඩෝනෙ මොකද්ද වෙන්නෙ කියල.
ඒ ගෑනි කොහොමද දන්නෙ අපි හෙට ඩුබායි යන වෙලාව. ඔයා පොඩ්ඩක් බලල කියන්න.
ඔන්න ඔහොම මෝසේද් නෝනගෙ සැලැස්මක් අනුව අල්ලපු ගෙදර නෝනගෙන් අපොයින්මන්ට් එකක් දාගෙන එහෙ ඔත්තු බලන්න සිද්ධ වෙන්නෙත් රූහිට.
ඔයාගෙ මහත්තය ඔයා එක්ක රන්ඩු කරන්නෙ නැද්ද ? මේ මෝසේද් නෝනගෙ ගෙදර නම් සෑහෙන්න රන්ඩු ඊයෙත් ලොකු වීදුරුවක් බින්දා.
වීදුරුව බිඳිල තිබුනෙ හරියට මෝසෙද් නෝනාගෙ විශ්වාසය බිඳිල සහ ඒ කැදැල්ලේ තිබුනු සතුටත් කැබලි වලට බිඳිලා කොහෙටදෝ ඉහිරිලා කියල පෙන්නන්න වගේ.
මගේ මහත්තය නම් මට හුඟාක් ආදරෙයි .එයාට මම නැතුව ඉන්න බෑ.
රූහිගේ රෝදෙක පැටලුනු කදාර් රෙද්ද නිසා බයිසිකලේ පෙරලිලා දෙන්නම බිමට පතබෑවුනත් රූහිගෙ පරිස්සම ගැන වද වෙලා ආදරේ කරන ,හැම පින්තූරෙකම රූහි දිහා ආදරෙන් බලා ඉන්න , හැම රෑකම පැය ගණන් ගෙවාගෙන මහපාරෙ විදුලි බුබුලු නිවිල යනකල් රූහි එනකල් බලාගෙන ඉන්න සිද්ධීන් කතන්දරේ ඇතුලෙ හයිලයිට් වෙලා පේන නිසාම රූහිගෙ මනාලයාගෙ ආදරේ ගැන ආයෙත් අමුතුවෙන් කියන්න දෙයක් අවශ්‍ය නැහැ. ඒවා ආදරේ ගැන පෙන්නන්න පුලුවන් බලගතුම රූපක.
මේ කතන්දරේ සෙලෝලයිඩ් පටයක් හරහා අපිට පෙන්නලා තිබුනෙ රූප මාධ්‍ය වලට වැඩි තැනක් දීලා. මුලු කතන්දරේම මානුශීය හැඟීම් වලට මුල් තැනක් දීල ඒ හැඟීම් තවත් ඉස්මතු වෙලා පෙන්නල තිබුනෙ රූප පෙළගැස්වීම මගින්. ඉරාන සිනමාපට වලට ආවේණික උනු අමුතු වෙනස්ම රහක් මේ චිත්‍රපටයෙත් ගැබ් වෙලා තිබුනා. මේ සිත්තමේ බොහොමයක්ම දක්නට ලැබුනේ ස්ටිල් රූපරාමු. ස්ටිල් රූපරාමු ඇතුලෙ මිනිස්සුන්ගෙ භාවයන් කැපිල පේන පරිදි නිරූපණය කරන්න අධ්‍යක්ශවරයා සමත් වෙලා තිබුනා . අස්ගාර් ෆර්හාඩි මහත්තයාගෙ A separation , About Elly චිත්‍රපට වගේම මේ කතන්දරෙත් තිබුනෙ මානුශික හැඟීම් ඉස්මතු කිරීමක්. කතා තේමාවන් වෙනස් උනාට මනුශ්‍යාට ආවේණික උනු භාවයන් නිරූපණය කර තිබීම මේ සිනමා සිතුවමේ මම දකින සුවිශේශීම ප්ලස් පොයින්ට් එකක්. අස්ගාර් මහත්තයා බොහොම සියුම් විදිහට හැම කෙනෙකුගෙම චරිත ස්වභාවයන් එකිනෙකට වෙන් වෙන්ව හඳුනගන්න පුලුවන් විදිහට සුමටව ඉදිරිපත් කරල තියෙනවා. About Elly චිත්‍රපටයේ දකින්න ලැබෙන තරමක කලබලකාරී ගතිය මේ චිත්‍රපටයේ තිබුනෙ නැහැ. මේක බොහොම සෞම්‍යව මටසිලුටුවට ගලාගෙන ගියත් මානුශීය භාවයන් හා හැඟීම් ඉතාමත්ම ප්රබලව ගම්‍යමාන කරල පෙන්වන අපූරු සලරුවක්.
හැමදාම මනසට වදයක් වෙලා තියෙන තමන්ගෙ බිරිඳගෙ සැක කිරීම මෝටේසා මහත්තයව රුදුරු මනුස්සයෙක් බවට හරවලා තිබුනා. ඒ පීඩනය කොච්චරද කිව්වොත් ඔෆිස් එකේ වැඩ කප්පරක් අස්සෙ උනත් රූහිගෙ කදාර් රෙද්ද පොරොවගෙන තමන්ගෙ ඔත්තු බලන්න එන මෝසේද් නෝනව එක පාරින් අඳුරගන්න මෝටෙසා මහත්තයාට පුලුවන් වෙනව. ඒ මානසික පීඩනය පෙන්නුම් කරන්නෙ මහපාර මධ්‍යයේ මෝසේද් නෝනට මෝටෙසා මහත්තය ගුටිබැට එල්ල කරන දර්ශනයෙන්. රූහිගෙ කදාර් රෙද්ද නැති එක රූහිටම හරිම පුදුමයක් වෙනව.
මට මේ සිනමා සිතුවම හෝරාවකට අධික කාලයක් බලාගෙන ඉන්නකොට දැනුනු තව දෙයක් තමා මේ කතන්දරේ බලසම්පන්නම අවියක් උනේ රූහිගෙ කදාර් රෙද්ද කියන එක. මුල් විනාඩි කිහිපයේ රූහිගෙ මහත්තයගෙ බයිසිකලේ රෝදෙට පැටලෙන එකේ ඉඳම්ම මෝසේද් නෝන කදාර් රෙද්ද පොරෝගෙන මහත්තයගෙ හොර අල්ලන්න යන එක දක්වාම කදාර් රෙද්ද බොහොම ප්‍රබල භූමිකාවක් නිරූපණය කලා. කදාර් රෙද්ද නිසා සිද්ද උනේ කරදරමයි. බොහොම පුංචි දෙයකට උනත් මහා පරිමාණයේ නස්පැත්ති උපද්දවන්න පුලුවන් කියල මට හැඟුනේ කදාර් රෙද්ද නිසාමයි.
කෙසේ නමුත් කදාර් රෙද්දට එහෙම දොස් කිව්වට අලුත් අවුරුදු ගිනිකෙළි උත්සවයක් වෙලාවෙ පාර අයිනක මෝටේසා මහත්තයාගේ මෝටර් රථයෙන් අල්ලපු ගෙදර සැලුන් එකේ අයිතිකාර සිමීන් නෝනගෙ කටහඬ ඇහෙනකොට ප්‍රේක්ශක අපේ හිස්ගෙඩි වල අකුණක් පුපුරවා හැරිය වගේ බිරාන්තයක් එක්කම සැමියෙකුට බලවත් මානසික පීඩනයක් ඇති කලා කියල හිතේ අපැහැදීමක් ඇති කරපු මෝසේද් නෝනා ගැන සානුකම්පාව මුසු කණගාටුවක් වගේම යම්හෙයකින් අසාධාරණයක් වෙමින් පැවති ගැහැණියකට සත්‍ය හොයාගන්න උදව් කරපු කදාර් රෙද්ද ගැන කෘතඥ හැඟීමකුත් ඇති වෙන්නෙ නිරායාසයෙන්මයි.
මම ඔයා නිසාමයි නිවාඩු දාගත්තෙ. ඔයාව නොබල ඉන්න බෑ.
මෝටේසා දැන් අපි මේ සම්බන්ධය නතර කරමු. ඕනෑවටත් වඩා හුඟක් ලස්සන මතක අපි එකතු කරගත්තා. ඔයා හෙට ඩුබායි ගිහින් ආපහු එන්න. ඇවිත් නෝනයි දරුවයි එක්ක සතුටින් ඉන්න.
සාමාන්‍යයෙන් අසම්මත සම්බන්ධතාවයක රූපරාමුවක් දැක්කටත් වඩා මේ අසම්මත සම්බන්ධය දනවපු රූපරාමු වල බලවත් භාවමය බවක් මම දැක්කා. ඒක සාමාන්‍ය ස්වභාවයට වඩා ටිකක් තදින් හිතට වැදුනු දර්ශනයක්.
මේ සිනමාපටයේ මම තවත් දැකපු හැඟීම්බරම සිදුවීමක් තමයි මෝසෙද් නෝනගෙයි මෝටෙසා මහත්තයගෙයි ආදරණීය පුතා අමීර් අලී අම්මගෙයි තාත්තගෙයි අඩදබර නිසා හිතෙන් දුක් විඳිනව කියල පෙන්නපු දර්ශනය. පුංචි දරුවන්ගෙ හිත් මල් වගේ. බොරු කියන්නෙ නැති අවංක ඔවුන් හිත් වල දේවල් හඟවගෙන ඉන්නෙ හරිම අඩුවෙන්. අමීර් අලි මානසික පීඩනය හංගගෙන අම්මගෙයි තාත්තගෙයි සමගියත් එක්කම තමන්ගෙන් ගිලිහුනු මවුපිය සෙනෙහස අයදින්නෙ හරිම හැඟුම්බර විදිහකට.
එයාල හුඟක් රන්ඩු කරනව. මට ඕනෙ තාත්ත එක්ක ගිනිකෙලි බලන්න යන්න. ඒත් ඊයෙ එයාල වීදුරුවක් කැඩෙනකල් රන්ඩු කලා. වෙන ගෑනියක් ගැන තමා අම්ම කියන්නෙ.
හැම මොහොතකම ආදරය අපේක්ශා කරන සෙනෙහස අයදින කුඩා දරුවා කිසිම දෙයක් හංගන්නෙ නැතිව අව්‍යාජව හැම හැඟීමක්ම පිට කරනකොට මෝසේද්ගෙයි මෝටේසාගෙයි හිත් වලට ඇති වන ලැජ්ජාවත් පශ්චත්තාපයත් මුසු වේදනාව වගේම රූහිගේ හිතේ හටගන්න සානුකම්පාව මුහු උනු අමීර් අලි කෙරෙහි ආදරය වගේ ප්‍රබල මානුශීය හැඟීම් ඉතා ප්‍රබල විදිහට රූප මාධ්‍ය මගින් පෙන්නල තිබුන . මම කලින් සඳහන් කලා වගේ මේ චිත්‍රපටයේ සම්පූර්ණයෙන්ම රූප මගින් ප්‍රබල භාවයන් ඉස්මතු කරපු තැන් එමටයි.
අල්ලපු ගෙදර සිමීන් නෝනගේ ගෙදර සිද්ධ වෙන දේවල් වලට ඇහුම්කන් දෙන්න මෝසේද් නෝනා භාවිතා කරන එයාලාගෙ නානකාමරේ කවුලුව ලඟ බිත්තියත් ප්‍රබලම රූපකයක්. අවසාන ජවනිකාවෙදීත් ඒ බිත්තිය මෝසේද් නෝනගෙ ඇහැ ගැටෙන සිද්ධිය හරිම ප්‍රබලයි.
මේ කතන්දරේ රූප වලට මූලිකත්වය කොයිතරම් දීලද කිව්වොත් සිමීන් නෝනගෙ සුවඳ විලවුන් සුවඳට සමාන සුවඳක් මෝටෙසාගෙ මෝටර් රථයෙන් එනකොට රූහි නහයෙන් හෙමීට ඉව කරන එක පවා මට දැනුනු ප්‍රබලම තැනක්.
සිමීන් නෝනාගෙ වෙන් වුනු මහත්තයා ගෙනත් දීපු තමන්ගෙ ආදරණීය දුවණිය එක්ක සිමීන් නෝන ඇතුලට ගියාට පස්සෙ රූහිටත් ඉක්මනටම ගෙදර යන්න උවමනා උනු නිසා මෝසේද් නෝනට මහත්තයගෙ රහස එළි කරන්න රූහිට උවමනාවක් වෙන්නෙ නැහැ.
කොහොමින් කොහොමහරි අමීර් අලීව තුරුලු කරගෙන දරදඬු වෙලා බලෙන්ම ඇස් දෙක තද කරගෙන ඉන්න මෝසේද් නෝනගෙ අතෙන් ඇදල තමන්ගෙ සුපුරුදු නිදන කාමරේට යන්න කතා කරන මෝටෙසා මහත්තයට අවසානයේ සිද්ධ වෙන්නෙ කාමරේ තනිවම ඉන්න. මෝසෙද් නෝනා බලෙන්ම නිදාගන්න පෙලඹෙන්නේ රූහිගෙ කදාර් රෙද්දට පින් සිද්ධ වෙන්න හොයපු ඔත්තු බැලිල්ලෙන් පස්සෙ අවසානයේ කදාර් රෙද්ද මෝසෙද් නෝනටම දීල පිටත් උනු රූහිගේ අන්තිම ඉඟියෙන් ආපහු අර මෝටේසාගෙ චාටු කතා හමුවේ අතෑරල දාපු නාන කාමරේ බිත්තිය නිසා.
අවසන් ජවනිකාවත් රූප වලට ප්රමුඛත්වයක් දීලා භාවයන් රැසක් ජනනය කරපු දෙයක් . නිදන කාමර දෙක දෙකට වෙන් කරල එක පසක මෝසේද් නෝනා සහ අමීර් අලීත් අනෙක් පස මෝටෙසා මහත්තයවත් පෙන්වන්නේ පැති දෙකක වෙනස්ම ලෝක දෙකක ඉදිරියටත් නෝනටයි මහත්තයටයි ජීවත් වෙන්න සිද්ධ වෙයි කියල විද්‍යාමාන කරල පෙන්වන්න.
ප්‍රේක්ශකයාගේ බුද්ධිමය පක්ශ වගේම, භාවමය පක්ශත් අවධි කරන්න සමත් වෙන මේ සිනමා සිතුවම සැබැවින්ම ඉතා සියුම් විදිහට ප්‍රේක්ශකයන්ගේ හදවතට ආමන්ත්‍රණය කරන රහස් ගුහාවක් බඳු මනුස්ස ප්රාණියාගේ හැඟීම් භාවයන් මටසිලුටුව නිරූපණය කරල ඉදිරිපත් කරන චිත්‍රපටයක්. වෙන්වීම කියන සිද්ධිය වෙනස් විදිහකින් ඉතාමත්ම ප්රබලව නිරූපිත වුනු මේ චිත්‍රපටය නැරඹීම කිසිවකුට පාඩුවක් නොවනවා නම් නිසැකයි.
මේ Review එක ලිව්වෙ, Ashini Randini. ඉතිං, එයාගෙ Profile එකත් Follow කරල සහයෝගයක් දෙන්න, තවත් මේ වගේ ලස්සන Movie Reviews ලියන්න උනන්දු කිරීමක් විදිහට!